කලාඔය පිටාර ගලමින් තිබියදී පොලිස් අවවාද පවා නොතකා මගීන් 68 දෙනෙකු සහිත බස් රථය පාලම මතින් ධාවනය කර මගීන් දෙදෙනෙකුගේ මරණයට හේතු වූ බව කියන රියදුරා, මෙම මස 21 වනදා දක්වා යළි රිමාන්ඩ් බාරයේ තැබීමට නොච්චියාගම මහේස්ත්‍රාත් පී.ආර්.අයි. ජමීල් මහතා අද (14) නියෝග කළේය. මෙලෙස රිමාන්ඩ් කෙරුණේ සාලියවැව ප්‍රදේශයේ පදිංචි ධනුෂ්ක කුමාරසිංහ නැමැති රියදුරායි.
පුල්මුඩේ සිට කොළඹ දක්වා ධාවනය වූ මෙම පෞද්ගලික බස් රථයේ මහාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු මගීන් 68 දෙනෙකු ගමන් කර ඇති අතර, මහජනතාවගේ සහ පොලිසියේ ඉල්ලීම් නොතකා රියදුරා බස් රථය සැඩ පහරට දැමීම නිසා එය ගසාගෙන ගොස් තිබුණි. මෙම අනතුරෙන් මගීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 66 දෙනෙකුගේ ජීවිත අනතුරට ලක්විය.
නඩුව කැඳවූ අවස්ථාවේදී තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණයට දන්වා සිටියේ, සැකකරුට එරෙහිව මිනී මැරුම් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට තීරණය කර ඇති බවයි. සැකකාර රියදුරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කරුණු දක්වමින් කියා සිටියේ මගීන්ගේ ජීවිත අනතුරේ හෙළීමේ චේතනාවක් රියදුරාට නොතිබූ බව වුවද, කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කළේය.













