අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව මුල් කරගනිමින් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර දැඩි මත ගැටුමක් නිර්මාණය වී තිබේ. මෙම යෝජනාව විවාදයට ගැනීම සඳහා ආණ්ඩුව සූදානමින් සිටියද, ඒ සම්බන්ධයෙන් වන දින වකවානු පිළිබඳව දෙපාර්ශ්වය අතර එකඟතාවක් මෙතෙක් ගොඩනැගී නොමැත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ, අදාළ විශ්වාසභංග යෝජනාව එළැඹෙන 22 සහ 23 යන දෙදින තුළ විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය සූදානම් බවයි. විපක්ෂය එම දිනවලදී විශ්වාසභංගය විවාද කිරීමට සූදානම් නොමැති නම්, ඒ වෙනුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට ද රජය යෝජනා කර තිබේ.
කෙසේ වෙතත්, ආණ්ඩුවේ මෙම යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. විපක්ෂ නායකවරයා අවධාරණය කළේ විශ්වාසභංගයක් විවාදයට ගත යුතු දිනය තීරණය කිරීමේ අයිතිය ඇත්තේ එය ඉදිරිපත් කරන විපක්ෂයට මිස ආණ්ඩු පක්ෂයට නොවන බවයි. ආණ්ඩුව ඒකපාර්ශ්විකව ප්‍රකාශ කළ දිනවලදී විවාදයට ඉදිරිපත් වීමට විපක්ෂය සූදානම් නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු මුල් කරගනිමින් ඉදිරිපත් වන මෙම විශ්වාසභංගය, ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළ දැඩි දේශපාලන කතිකාවකට මග පාදනු ඇතැයි අපේක්ෂා කෙරේ. විවාදය පැවැත්වෙන නිශ්චිත දිනය පිළිබඳ තීරණය ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී තීරණය වීමට නියමිතය.














