ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වාගෙන යා යුතු නිල උද්ධමන ඉලක්කයන්ගෙන් මෙරට මතුපිට උද්ධමනය (Headline Inflation) සැලකිය යුතු ලෙස බැහැර වීම පිළිබඳ කරුණු පැහැදිලි කෙරෙන විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව, පනවා ඇති උද්ධමන ඉලක්කයන් සපුරා ගැනීමට අපොහොසත් වන ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳ වාර්තාවක් මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමට අනුව, කාර්තුමය මතුපිට උද්ධමනය 5%ක මට්ටමක පවත්වාගෙන යාමේ වගකීම මහ බැංකුවට පැවරී ඇත. එහිදී ලබා දී ඇති ±2%ක ආන්තිකය ඉක්මවා අනුක්‍රමික කාර්තු දෙකක් පුරා උද්ධමනය පවතී නම් මෙලෙස වාර්තා කළ යුතුය. 2025 වසරේ දෙවන කාර්තුවේදී උද්ධමනය -1.1%ක් ලෙසත්, තුන්වන කාර්තුවේදී 0.8%ක් ලෙසත් වාර්තා වී ඇති අතර, එය නියමිත 5% ඉලක්කයට වඩා 2%කට වඩා පහළින් පැවතීම මෙම වාර්තාව ඉදිරිපත් කිරීමට ආසන්නතම හේතුව වී තිබේ.
උද්ධමනය ඉලක්කගත මට්ටමට වඩා මෙලෙස පහළ බැසීමට හේතු වූ කරුණු, එය යථා තත්ත්වයට පත් කිරීමට මහ බැංකුව ගන්නා ක්‍රියාමාර්ග සහ ඒ සඳහා ගතවන කාලය පිළිබඳ පුරෝකථනයන් මෙම වාර්තාවට ඇතුළත් වේ. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව ක්‍රියාත්මක වීමත් සමඟ, අදාළ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව මහජනතාවට ද විවෘත වනු ඇත.














