ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ රන් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රථම කතානාද චිත්‍රපටය වන ‘කඩවුණු පොරොන්දුව‘ තිරගත වී අදට (ජනවාරි 21) වසර 79ක් සපිරේ. 1947 ජනවාරි 21 වැනිදා කොළඹ කොටහේනේ කිංස්ලි සිනමා ශාලාවේදී මංගල දර්ශනය පැවැත්වූ මෙම චිත්‍රපටය, මෙරට වේදිකා නාට්‍ය කලාවේ ජනප්‍රිය මිනර්වා නාට්‍ය කණ්ඩායමේ නිර්මාණයක් ලෙස බිහිවිය.
කතානාද සිනමාව මෙසේ ආරම්භ වුවද, 1925 වසරේදී ටී. ඒ. නූර්බායි නිර්මාණය කළ ‘රාජකීය වික්‍රමය’ වැනි නිර්මාණ ඔස්සේ මෙරට නිහඬ සිනමා ඉතිහාසය වසර සියයකට වඩා ඈතට දිවයයි.
සිංහල සිනමාවේ විකාශනය දෙස බැලීමේදී 1956 වසරේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නිර්මාණය කළ ‘රේඛාව’ චිත්‍රපටය සැබෑ ජාතික සිනමාවක හැරවුම් ලක්ෂය ලෙස සැලකේ. චිත්‍රාගාරවල කෘත්‍රිම පසුතලවලින් මිදී කැමරාව එළිමහනට ගෙන ආ එම නිර්මාණයත් සමඟ 1963දී ‘ගම්පෙරළිය’ චිත්‍රපටය ඉන්දියාවේදී ‘රණමයුර’ සම්මානය දිනාගනිමින් ශ්‍රී ලංකාවට ප්‍රථම ජාත්‍යන්තර සිනමා සම්මානය උරුම කර දුන්නේය.
1962දී ‘රන්මුතු දූව’ චිත්‍රපටය හරහා මෙරටට වර්ණ සිනමාව හඳුන්වා දුන් අතර, මාලනී ෆොන්සේකා සහ අනෝජා වීරසිංහ වැනි රංගන ශිල්පීන් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබීම මෙරට සිනමාවේ ප්‍රෞඪත්වය විදහා පෑ අවස්ථා වේ.
වසර 79ක මෙම ගමන් මඟ තුළ බුද්ධ චරිතය අලළා නිර්මාණය වූ ආගමික චිත්‍රපට මෙන්ම විවිධ දේශපාලනික හා සමාජීය කරුණු මත තහනමට ලක්වූ චිත්‍රපට ද ඉතිහාසයට එක්ව ඇත. මුල් යුගයේ ඉන්දියානු චිත්‍රාගාර මත යැපුණු සිංහල සිනමාව පසුව දේශීය චිත්‍රාගාර බිහිකරමින් ස්වාධීනත්වයට පත්වූ අතර, නිධානය, විරාගය, බඹරු ඇවිත් වැනි විශිෂ්ට කෘති හරහා දේශීය සිනමා අනන්‍යතාව ලොවට හඳුන්වා දුන්නේය. තවත් වසර 21කින් ශත සංවත්සරය සැමරීමට සූදානම් වන ශ්‍රී ලාංකේය සිනමාව, නවීන තාක්ෂණය සමඟ ලෝක සිනමාව ජයගැනීමට අවශ්‍ය පදනම වර්තමාන සිනමාකරුවන් අතින් නිර්මාණය වෙමින් පවතී.














