මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියදුරන් එම ස්ථානයේදීම හඳුනාගෙන නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් ජංගම වෛද්‍ය රසායනාගාර බස් රථ (Mobile Lab) සේවාව අද (21) නිල වශයෙන් ආරම්භ විය. කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පොළේදී මෙම සේවාව ආරම්භ කළ අතර, මින් ඉදිරියට මත්ද්‍රව්‍ය පරීක්ෂාව සඳහා රියදුරන් රෝහල් වෙත රැගෙන යාමට අවශ්‍ය නොවන බව බලධාරීන් පවසයි.
මෙම ජංගම රසායනාගාර සේවාවේ විශේෂත්වය වන්නේ රියදුරන්ගේ මුත්‍රා සාම්පල පරීක්ෂා කර විනාඩි 2ත් 3ත් අතර කාලයකදී එහි ප්‍රතිඵල වාර්තාවක් සහිතව ලබාදිය හැකි වීමයි. දැනට මත්ද්‍රව්‍ය වර්ග 4ක් හඳුනා ගැනීමට මෙහි පහසුකම් පවතින අතර, ඉදිරියේදී එය මත්ද්‍රව්‍ය වර්ග 12ක් දක්වා පුළුල් කිරීමට නියමිතය. මීට පෙර මත්පැන් හැර වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන්ට දඬුවම් කිරීමේදී පැවති නෛතික බාධා ඉවත් කරමින්, අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ මැදිහත්වීම මත මෝටර් රථ වාහන පනතට අදාළ නව නියෝග මාලාවක් ද පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.
ශ්‍රී ලංකාව තුළ වසරකට රථවාහන අනතුරුවලින් අහිමි වන මිනිස් ජීවිත 2,500කට අධික සංඛ්‍යාව ආරක්ෂා කර ගැනීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි. ජාතික ගමනාගමන කොමිසම, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම සේවාව බස්නාහිර පළාතෙන් ආරම්භ කර ඉදිරියේදී දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. මෙම සමාරම්භක අවස්ථාවට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය යූ.සී.පී පෙරේරා මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.















