ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනිවාර්ය SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැතිව විදුලි දිගු රැහැන් (Extension Cords) අලෙවි කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ වෙළෙඳ ආයතනයකට රුපියල් ලක්ෂ 4ක දඩයක් නියම කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා ඇති අතර, පසුගිය අගෝස්තු 28 වැනි දින සිදුකළ වැටලීමකදී SLS සලකුණ නොමැතිව රුපියල් 2,790ක මිලකට මෙම රැහැන් අලෙවි කරමින් තිබියදී සොයාගෙන ඇත.
අවම වගකීම් කාලයක් ලබා නොදීම සහ සැපයුම්කරුවන්ගේ නීත්‍යානුකූල බිල්පත් නොමැතිව භාණ්ඩ අලෙවියට තැබීම සම්බන්ධයෙන්ද මෙහිදී චෝදනා එල්ල වී ඇති අතර, අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව විත්තිකාර සමාගමට මෙම දඩ මුදල නියම කර තිබේ. විදුලි අනතුරු සහ ගිනිගැනීම් වළක්වා ගැනීම සඳහා පේනු, විදුලි දිගු රැහැන් සහ කේබල් රීල් වැනි උපාංග මිලදී ගැනීමේදී SLS ප්‍රමිති ලාංඡනය සහ වගකීම් කාලය පරීක්ෂා කර නීත්‍යානුකූල බිල්පතක් ලබාගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දන්වා සිටියි.
















