ශාසනයට දරුවන් පූජා කළ, ස්ථිර නිවසක් නොමැති දෙමාපියන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක රජයේ නිවාස ආධාරයක් ලබාදීමට පියවර
ජාතික නිවාස වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ‘යතිවර මාපිය’ නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වන දින බදුල්ලේදී සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබේ. ශාසනයට තම දරුවන් පූජා කළ එහෙත් ජීවත් වීමට සුදුසු ස්ථිර නිවසක් නොමැති දෙමාපියන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක නැවත අය නොකරගන්නා රජයේ ආධාරයක් මත මෙම නිවාස ඉදිකරදීම සිදු කෙරේ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වේ. මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පවත්වන ලදී.
















