හල්තොට, තූතිරිපිටිය ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිය 60 හැවිරිදි ලොකු අම්මාට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 15ක මුදලක් කොල්ලකෑ 41 හැවිරිදි පුද්ගලයෙකු සිද්ධියෙන් දින 6කට පසු අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. ඉකුත් 14 වැනිදා තනිව පදිංචිව සිටි මෙම අවිවාහක කාන්තාවගේ ගෙලට උල් ආයුධයක් තබා බියගන්වා සේප්පුවේ තිබූ මුදල් කොල්ලකා පලාගොස් තිබූ සැකකරු, වාද්දුව ප්‍රදේශයේ හෝටලයක් අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ කොල්ලකෑ මුදලින් රුපියල් හාර ලක්ෂ හැටදහසක් වැය කර ඔහු ‘ට්‍රේල්’ වර්ගයේ යතුරුපැදියක් මිලදී ගෙන ඇති බවයි. මීට අමතරව උකස් කර තිබූ සිය පැරණි යතුරුපැදිය නිදහස් කර ගැනීමට රුපියල් හැටදහසක් වැය කර ඇති සැකකරු, ඉතිරි මුදල් මත්කුඩු පානය කිරීමට සහ කාන්තාවන් සමඟ හෝටල්වල සුඛෝපභෝගී ලෙස ගත කිරීමට වැය කර තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීත් ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් සහ අලුතින් මිලදී ගත් යතුරුපැදිය සොයා ගැනීමට පොලිසියට හැකි වී ඇත.
දෙල්දූව ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව හඳුනාගෙන ඇති අතර, ඔහු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.













