බකමූණ – ඇලහැර ප්‍රධාන මාර්ගයේ දමනයාය පාලම අසලදී අද (22) සිදුවූ දරුණු රිය අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් තවත් තරුණයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය වාර්තා කරයි.
මියගොස් ඇත්තේ ඒකනායක මුදියන්සේලාගේ ශෂික ලක්ෂාන් විදුරංග විජේසුන්දර නමැති තරුණයෙකි. බකමූණ දෙස සිට ඇලහැර දෙසට ධාවනය වූ යතුරුපැදියක්, එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ තවත් යතුරුපැදියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියේ පිටුපස ගමන් ගත් තරුණයා අනතුරින් බරපතළ තුවාල ලබා බකමූණ සහ දඹුල්ල රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට මාරු කර යවා සිටියදී මෙලෙස මියගොස් තිබේ.
අනතුරට සම්බන්ධ අනෙක් යතුරුපැදියේ ගමන්ගත් තරුණයා සහ ඉදිරිපස යතුරුපැදිය පදවාගෙන ගිය තරුණයා මේ වන විට බකමූණ සහ දඹුල්ල යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති. බකමූණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ජී.එස්.කේ. සුමනවීර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.














