මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභී විෂයභාර නිලධාරිනියක විසින් ‘අස්වැසුම’ ප්‍රතිලාභීන්ට හිමි රුපියල් ලක්ෂ 22කට ආසන්න මුදලක් වංචනික ලෙස සිය පෞද්ගලික ගිණුම්වලට බැර කරගෙන ඇති බව හෙළි වී තිබේ.
මියගිය සහ ඉතා වයෝවෘද්ධ ප්‍රතිලාභීන්ගේ දත්ත පද්ධතියේ පවතින අඩුපාඩු උපයෝගී කරගනිමින් 2023 වසරේ සිට මෙම වංචාව සිදුකර ඇති බව මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කසුන් සෙනවිරත්න මහතා තහවුරු කරයි.
ආර්ථික සංවර්ධන නිලධාරිනියක විසින් සිය වසමේ මියගිය පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තොරතුරු මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු තාක්ෂණ ඒකකය සිදුකළ විමර්ශනයකදී මෙම අක්‍රමිකතාව අනාවරණය වී ඇත.
අදාළ නිලධාරිනිය ප්‍රතිලාභීන්ට හිමි මුදල් තමන්ගේ මෙන්ම හිතමිතුරන්ගේ සහ ඥාතීන්ගේ ගිණුම්වලටද බැර කරගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි විය. චෝදනාවට ලක් වූ නිලධාරිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කර ඇති අතර ඇයට එරෙහිව ආයතනික විනය පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසියට පැමිණිලි කර ඇති අතර, වංචා කළ මුදල් ප්‍රමාණය සලකා බැලීමේදී එහි බරපතලකම මත වැඩිදුර පරීක්ෂණ සඳහා කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානය වෙත විමර්ශන වාර්තා භාර දීමට ප්‍රාදේශීය ලේකම්වරයා පියවර ගෙන ඇත.












