රාගම නගරය කේන්ද්‍ර කරගනිමින් නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමටත්, නගරය සෞඛ්‍ය හා අධ්‍යාපන මධ්‍යස්ථානයක් (Health & Education Hub) ලෙස සංවර්ධනය කිරීමටත් රජය සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ජාඇල නගර සංවර්ධන සැලැස්ම යටතේ හඳුනාගෙන ඇති රාගම නගරයේ සංවර්ධන කටයුතුවලට එහි පවතින අනවසර ඉදිකිරීම් දැඩි බාධාවක් වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඇතැම් පිරිස් පැරණි දේශපාලන සබඳතා යොදාගනිමින් නිලධාරීන්ට පරීක්ෂණ කටයුතු කිරීමට පවා ඉඩ නොදෙන බවත්, නගරයේ පොදු යහපත උදෙසා එම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.
රාගම නගරය තුළ ශික්ෂණ රෝහල ඇතුළු සෞඛ්‍ය පහසුකම් මෙන්ම වෛද්‍ය පීඨය සහ හෙද විදුහල් ආශ්‍රිතව විශාල සිසුන් පිරිසක් සිටින බැවින්, එය සෞඛ්‍ය හා අධ්‍යාපන නගරයක් ලෙස දියුණු කිරීමට රජය ප්‍රමුඛතාව ලබා දෙන බව අමාත්‍යවරයා පැවසීය. මීට අමතරව, දුම්රිය, බස් සහ ටැක්සි සේවාවන් ඒකාබද්ධ කරමින් ඉදිකිරීමට නියමිත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ජනතාවට වඩාත් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබා දීම රජයේ අපේක්ෂාවයි.












