හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන මාර්තු මස 27 වනදා දක්වා තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (23) නියෝග කළේය.
ආගමික වතාවත් සඳහා ඉන්දියාව බලා යාමට අවසර ලබා දෙන ලෙස ඔහුගේ නීතීඥවරුන් කළ ඉල්ලීමක් සලකා බැලූ අධිකරණය මෙම තීරණය ගෙන තිබේ.
අල්ලස් කොමිසම මෙම ඉල්ලීමට විරෝධය පළ කළද, කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කොන්දේසි සහිතව එම තහනම ලිහිල් කරන ලදී. ඒ අනුව ප්‍රසන්න රණතුංග මහතාට රුපියල් ලක්ෂ 50ක අමතර ශරීර ඇපයක් නියම කළ අතර ඔහුගේ ඇපකරුවන්ට විදේශගත වීම තහනම් කිරීමට ද නියෝග කෙරිණි.
සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන කිහිපයක සේවක රක්ෂණ කටයුතු සඳහා පෞද්ගලික තැරැව්කාර සමාගමක් පත් කිරීම හරහා රක්ෂණ සංස්ථාවට රුපියල් මිලියන 4.7කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත. නඩුව යළි මාර්තු 27 වනදා කැඳවීමට නියමිතය.












