ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන එම්.ආර්.කේ. ලෙනගල මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම පත්වීම සඳහා ලෙනගල මහතා ඔහුගේ තානාපති ධුර කාලය අවසන් වීමටත් පෙර යළි දිවයිනට කැඳවීමට පියවර ගෙන ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ කටයුතු කිරීමේ විශේෂඥයෙකු ලෙස සැලකෙන ඒ මහතා එම ධුරයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ජාත්‍යන්තර සබඳතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමයි.
මේ අතර, දැනට විදේශ ලේකම් ධුරය දරන අරුණි රණරාජා මහත්මිය ඉදිරියේදී පුරප්පාඩු වන ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත් කිරීමට නියමිත බව ද පැවසේ.
මීට සමගාමීව විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරිනියක වන ප්‍රංශයේ දැනට සේවය කරන ශ්‍රී ලංකා තානාපති මනීෂා ගුණසේකර මහත්මිය ද යළි දිවයිනට කැඳවා ඇති බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.











