වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මැඩියුරෝ අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය ජනවාරි 3 වනදා අලුයම අමෙරිකානු විශේෂ බලකාය ක්‍රියාත්මක කළ අතිසාහසික මෙහෙයුම, නූතන යුද ඉතිහාසයේ අතිශය අවදානම් සහගත මෙහෙයුමක් ලෙස හඳුනාගෙන තිබේ.
CNN පුවත් සේවය විසින් ඇසින් දුටු සාක්ෂි සහිත වීඩියෝ 50කට අධික ප්‍රමාණයක් සහ චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණය කරමින් සිදු කළ නවතම හෙළිදරව්වකට අනුව, මෙම මෙහෙයුමේ තීරණාත්මක අවසාන මිනිත්තු කිහිපය අමෙරිකානු හමුදා භටයන්ගේ ජීවිත සහ සමස්ත මෙහෙයුමම දැඩි අවදානමකට ලක් කර තිබූ බව පැහැදිලි වේ.
ෆෝර්ට් ටියුනා හි ‘තත්පර 120’ ක මාරාන්තික අනතුර
කැරකස් නුවර පිහිටි දැඩි ආරක්ෂිත ‘ෆෝර්ට් ටියුනා’ (Fort Tiuna) යුද කඳවුරු සංකීර්ණය තුළ මැඩියුරෝ රැඳී සිටි නිවහන වෙත අමෙරිකානු ප්‍රවාහන හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවූ අවස්ථාව මෙහෙයුමේ වඩාත්ම අවදානම් සහගත මොහොත විය.
CNN විශ්ලේෂණයට අනුව, එක් හෙලිකොප්ටර් යානයක් ගොඩබස්වා, මැඩියුරෝව බලහත්කාරයෙන් පටවාගෙන නැවත ගුවන්ගත වීමට ගතවූයේ මිනිත්තු දෙකක (තත්පර 120) කාලයක් පමණි.
මෙම කෙටි කාලය තුළ අමෙරිකානු ප්‍රහාරක යානා සහ වෙනිසියුලානු ගුවන් ආරක්ෂක පද්ධති අතර දරුණු වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.
යුද විශේෂඥයන් පෙන්වා දෙන්නේ හෙලිකොප්ටර් යානයක් ගොඩබස්වන විට සහ ගුවන්ගත වන විට එය ඉතා සෙමින් ගමන් කරන බැවින්, සරල ගිනි අවිවලින් පවා එය විනාශ කිරීමේ දැඩි අවදානමක් පවතින බවයි.
තිරය පිටුපස සැලසුම: ‘සංවිධානාත්මක අවුල් ජාලය’ (Organized Chaos)
මෙම මෙහෙයුම සඳහා අමෙරිකානු ගුවන් කඳවුරු 20කින් යානා 150කට අධික සංඛ්‍යාවක් සහභාගී වී ඇත. මෙහෙයුම ආරම්භයේදීම වෙනිසියුලාවේ රේඩාර් සහ සන්නිවේදන පද්ධති අක්‍රිය කිරීමට අමෙරිකානු මිසයිල ප්‍රහාර එල්ල වූ බව CNN දත්ත තහවුරු කරයි. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී වෙස් බ්‍රයන්ට් මෙම උපායමාර්ගය හඳුන්වන්නේ “සංවිධානාත්මක අවුල් ජාලයක්” ලෙසයි. මෙහි ප්‍රධාන අරමුණ වූයේ සතුරා කලබලයට පත් කර, අමෙරිකානු හෙලිකොප්ටර් යානා සඳහා ආරක්ෂිත ගුවන් මාවතක් නිර්මාණය කිරීමයි.
මැඩියුරෝ කොටු වූ ‘පංචස්තම්භය’ (The Fortified Compound)
මැඩියුරෝ අල්ලා ගනු ලැබුවේ ඔහුගේ පෞද්ගලික නිවහනක් ලෙස භාවිතා කළ විශේෂ ආරක්ෂිත කලාපයකදීය. මීට පෙර මැඩියුරෝ සමාජ මාධ්‍ය වෙත මුදාහළ වීඩියෝ පරීක්ෂා කිරීමෙන් CNN ආයතනය තහවුරු කර ඇත්තේ, අමෙරිකානු යානා ගොඩබස්වා ඇත්තේ ඔහුගේ නිවසේ පිහිනුම් තටාකය සහ උද්‍යානය ආසන්නයටම බවයි. කඳුවලින් වටවී තිබූ මෙම ස්ථානය වෙත යානා ගොඩබැස්සවීම අතිශය දුෂ්කර කාර්යයක් වූ අතර, එහිදී වෙනිසියුලානු ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ අමෙරිකානු යානා දැඩි පීඩනයකට ලක්ව තිබේ.
මාරාන්තික පිරිවැය සහ ‘ටිකින් ටයිම් බෝම්බයක්’ වැනි මෙහෙයුම
මෙම මෙහෙයුමේදී වෙනිසියුලානු පාර්ශවයේ 100ක පමණ පිරිසක් මියගොස් ඇති බව වාර්තා වන අතර, ඒ අතර මැඩියුරෝගේ ආරක්ෂාවට සිටි කියුබානු භටයන් 32ක් ද සිටින බව පැවසේ. ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය පවසන්නේ කිසිදු අමෙරිකානු ජීවිතයක් මෙහිදී අහිමි නොවූ බවයි. කෙසේ වෙතත්, යුද විශේෂඥයන් පවසන්නේ මෙය “ටිකින් ටයිම් බෝම්බයක්” වැනි මෙහෙයුමක් වූ බවයි. එක් සුළු වැරදීමක් සිදු වූයේ නම්, අමෙරිකානු ඉතිහාසයේ දැවැන්තම යුද පරාජය මෙය වීමට ඉඩ තිබූ බව ඔවුන්ගේ මතයයි.
පැය කිහිපයක මාරාන්තික මෙහෙයුමකින් පසු, අලුයම 4:29 වන විට අමෙරිකානු හමුදා මැඩියුරෝ සහ ඔහුගේ බිරිඳ සමඟ වෙනිසියුලානු ගුවන් සීමාවෙන් පිටව ගොස් ඇත්තේ ඉතිහාසය අලුතින් ලියමිනි.
CNN පුවත් සේවය ඇසුරිනි.












