ශ්‍රී ලංකාවේ තේ උරුමය ලෝකප්‍රකට කරමින්, National Geographic Traveller (UK) සඟරාව විසින් 2026 වසරේ ලොව පුරා සංචාරය කළ යුතු හොඳම ‘ආහාර පාන කේන්ද්‍ර කරගත්’ (Food-focused) සංචාරක ගමනාන්ත ලැයිස්තුවට හැටන් ප්‍රදේශය ඇතුළත් කර තිබේ. යම් දේශයක ඉතිහාසය, සංස්කෘතිය සහ අනන්‍යතාවය හඳුනා ගැනීමට එරට ආහාර පාන සංස්කෘතිය ප්‍රබල සාධකයක් වන බව එම ලිපිය මඟින් අවධාරණය කර ඇත.
විශේෂයෙන්ම හැටන්හි ඩන්කෙල්ඩ් (Dunkeld) වතුයායේ පිහිටි Ceylon Tea Trails බංගලා සංකීර්ණය මෙහිදී කැපී පෙනෙන උදාහරණයක් ලෙස දක්වා ඇත. යටත් විජිත සමයේ තේ වතු පාලකයන් භාවිතා කළ පැරණි බංගලා පහක් ප්‍රතිසංස්කරණය කර මෙහි සංචාරකයන් සඳහා විවෘත කර ඇති අතර, එහි පැමිණෙන අමුත්තන්ට සියවස් පැරණි තේ කර්මාන්තශාලා නැරඹීමට ද අවස්ථාව ලැබේ. වතුයායේ පදිංචි තේ වගාකරුවෙකු වන බර්නාඩ් මහතාගේ මඟපෙන්වීම යටතේ සිදුකෙරෙන විනාඩි 90ක පෞද්ගලික චාරිකාවකදී, තේ දළු නෙළීමේ සිට එය නිෂ්පාදනය වන ආකාරය දක්වා වූ සම්පූර්ණ ක්‍රියාවලිය අත්දැකීමට සංචාරකයන්ට අවස්ථාව සැලසේ.
මීට අමතරව, හැටන් අවට පිහිටි කාසල්රී ජලාශය සහ ශ්‍රී පාදස්ථානය වැනි ආකර්ෂණීය ස්ථාන ද මෙම විශේෂාංගය හරහා ජාත්‍යන්තරයට හඳුන්වා දී ඇත. 2026 වසර සඳහා ශ්‍රී ලංකාවට අමතරව ඉතාලිය, ජපානය, වියට්නාමය සහ ආර්ජන්ටිනාව වැනි රටවල තෝරාගත් නගර කිහිපයක් ද මෙම ගෝලීය ලැයිස්තුවට ඇතුළත් වේ.












