බදුල්ල, දුන්හිඳ ප්‍රදේශයේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) සිසුන් රැගත් බස් රථයක් අනතුරට පත්ව සිසුන් දෙදෙනෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි 15 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) නියෝග කළේය.
ජනක් ද සිල්වා, සෝහිත රාජකරුණා සහ මේනකා විජේසුන්දර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බලන ලදී. මියගිය සිසුවෙකුගේ පියා වන මිත්‍ර වාහලවත්ත මහතා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම මගින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සනාතන සභාව ඇතුළු බලධාරීන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
පසුගිය වසරේ දෙසැම්බර් 30 වනදා සිදුවූ මෙම අනතුරට හේතුවූ බස් රථයේ බරපතළ කාර්මික දෝෂ පැවති බවත්, රියදුරුට නිසි බලපත්‍රයක් නොතිබූ බවට කරුණු හෙළි වී ඇති බවත් පෙත්සම්කරු අධිකරණයට පෙන්වා දුන්නේය.
විශ්වවිද්‍යාල බලධාරීන්ගේ නොසලකා හැරීම හේතුවෙන් සිය පුත්‍රයාගේ ජීවත්වීමේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසන ඔහු, සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙසත් වින්දිතයන්ට වන්දි ලබා දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.
මෙම මාරක අනතුරින් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 40කට අධික පිරිසක් තුවාල ලැබූහ.














