නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ආනයනය කරන ලද ගල් අඟුරු නෞකා තුනක ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු විමර්ශනය කිරීම සඳහා ලංකා ගල් අඟුරු සමාගමේ හිටපු සභාපතිවරයා පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.
යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.
අදාළ ගල් අඟුරු තොගවල ගුණාත්මකභාවය පිළිබඳ සැකයක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් මෙරට පරීක්ෂණාගාරවල සිදුකළ වාර්තා වහාම ඉදිරිපත් කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලැබී තිබේ.
අවසානයට පැමිණි නෞකාවේ ගල් අඟුරු සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා මේ වන විට ඉන්දියාවට යොමු කර ඇති බවත්, එම වාර්තා ලැබුණු පසු ප්‍රමිතිය පිළිබඳ අවසන් තීරණය ලබා දිය හැකි බවත් බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේය.
ගල් අඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇති බවට සැක කෙරෙන අක්‍රමිකතා සහ ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වීම හරහා බලාගාරයට සිදුවිය හැකි හානි පිළිබඳව කාරක සභාවේදී දීර්ඝව සාකච්ඡා වී ඇත. මෙම පරීක්ෂණ වාර්තා සහ හිටපු සභාපතිවරයා ලබා දෙන තොරතුරු මත විදුලි බල උත්පාදනයට මෙම ගල් අඟුරු සුදුසු ද යන්න තීරණය කිරීමට නියමිතය.














