අප්‍රිකානු නිදහස් අරගලයේ පුරෝගාමියෙකු වූ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ප්‍රථම අගමැති පැට්‍රිස් ලුමුම්බා 1961 වසරේදී අතිශය කෘර ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ තීරණාත්මක තීන්දුව ලබන මාර්තු 17 වනදා ප්‍රකාශයට පත් කිරීමට බෙල්ජියම් අධිකරණය තීරණය කර තිබේ.
ලුමුම්බා ඝාතනය සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඔහු සිරකරුවෙකු ලෙස නීතිවිරෝධී ලෙස මාරු කිරීම සම්බන්ධයෙන් මේ වන විට 93 හැවිරිදි වියේ පසුවන එටියන් ඩැවිග්නොන් (Etienne Davignon) නැමැති බෙල්ජියම් රාජ්‍ය තාන්ත්‍රිකයාට එරෙහිව යුද අපරාධ චෝදනා යටතේ නඩු පවරා ඇත.
2011 වසරේ සිට ඇදී යන මෙම නඩු විභාගය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කළ තර්ක පසුගිය ජනවාරි 20 වනදා බ්‍රසල්ස් අධිකරණයේදී සලකා බැලුණි.
ලුමුම්බාගේ සිරුර ඇසිඩ්වල දියකර විනාශ කළ අතර, බෙල්ජියම් පොලිස් නිලධාරියෙකු සන්තකයේ තිබී 2016 දී අත්අඩංගුවට ගත් ලුමුම්බාගේ දතක් පමණක් 2022 වසරේදී නිල වශයෙන් කොංගෝවට භාර දීමට බෙල්ජියම් රජය පියවර ගත්තේය.
වත්මන් නඩු විභාගයේ එකම විත්තිකරු වන ඩැවිග්නොන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ අදාළ සිද්ධීන් සිදුවන අවස්ථාවේ තමා තීරණ ගන්නා මට්ටමක නිලධාරියෙකු නොවූ බවයි.
කෙසේ වෙතත්, ලුමුම්බාගේ පවුලේ සාමාජිකයන් සහ ඔවුන්ගේ නීතිඥයන් අවධාරණය කරන්නේ ඉතිහාසයේ සිදු වූ මෙම දරුණු අපරාධය වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතු බවත්, යුද අපරාධ සඳහා කාලරෝධයක් බලනොපාන බැවින් විත්තිකරුට දඬුවම් පැමිණවිය යුතු බවත්ය.














