හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු බ්‍රිතාන්‍ය ආරාධනයක සත්‍ය අසත්‍යතාව විමර්ශනය කිරීමට එක්සත් රාජධානියට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) කණ්ඩායම, අදාළ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපොහොසත් වී ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥ කණ්ඩායම ඊයේ (29) ප්‍රකාශ කළේය.
කොළඹ ෆ්ලවර් පාරේ පිහිටි හිටපු ජනාධිපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී නීතිඥ කුමාර දුනසිංහ මහතා කියා සිටියේ, විමර්ශන කණ්ඩායම ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ගෙන් සහ හිටපු මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මියගෙන් පමණක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයට සම්බන්ධ කිසිදු පාර්ශ්වයකින් ප්‍රකාශ සටහන් කර නොගැනීම සම්බන්ධයෙන් තම කණ්ඩායම ඉදිරියේදී අධිකරණයට සාක්ෂි ඉදිරිපත් කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ද නීතිඥ කණ්ඩායම මෙහිදී ප්‍රතික්ෂේප කළ අතර, ඒකනායක මහතා කිසිසේත් සැඟවී නොමැති බවත් ඔහුට ඇප ලබා ගැනීමට අවශ්‍ය සුවිශේෂී කරුණු ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා ඇප ප්‍රතික්ෂේප වී ඇති බවත් ඔවුහු පැහැදිලි කළහ.
මෙම පරීක්ෂණ මෙහෙයවන ආයතනයේ ප්‍රධානියා වන ශානි අබේසේකර මහතා පසුගිය මැතිවරණ සමයේ ජාතික ජන බලවේගය වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල නිරත වූවෙකු බව පෙන්වා දුන් නීතිඥවරු, මෙම සමස්ත විමර්ශනයම දේශපාලනීකරණය වී ඇති බවට චෝදනා කළහ.
එසේම ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ හිටපු ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන ප්‍රකාශ මගින් ස්වභාවික යුක්තියේ මූලධර්මවලට බරපතල හානි සිදුවන බව නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා මෙහිදී අවධාරණය කළේය.














