රුපියල් කෝටි 89ක් වටිනා මැණික් ගල් නවයක් ලබාගෙන, ඒ වෙනුවෙන් මුදල් නොමැති ගිණුම්වලින් චෙක්පත් ලබා දී මහා පරිමාණ වංචාවක් කළ බව කියන 69 හැවිරිදි ව්‍යාපාරිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අදාළ මැණික් ගල් වෙනුවෙන් රුපියල් ලක්ෂ 64ක වටිනාකමකින් යුත් අගරු චෙක්පත් ලබා දී ඇති බවත්, එම මැණික් ගල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ සාවද්‍ය පරිහරණය සිදු කර ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.
කොල්ලුපිටිය චාල්ස්වේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම ව්‍යාපාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. රහස් පොලිසිය මෙම වංචාවට සම්බන්ධ අනෙකුත් කරුණු සහ මෙම මැණික් ගල්වලට සිදුවූ දෙය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














