ටෙස්ලා ප්‍රධානියාගෙන් ආන්දෝලනාත්මක විමසීමක්ලොව ධනවත්ම පුද්ගලයා වන එලොන් මස්ක්, බාලවයස්කාර දැරියන් ලිංගික ජාවාරම්වලට යොදාගත් බවට චෝදනා ලැබූ ජෙෆ්රි එප්ස්ටයින්ගේ කුප්‍රකට පෞද්ගලික දූපතට පැමිණීම පිළිබඳව විමසා ඇති බව දැක්වෙන රහස්‍ය ලේඛන රැසක් අලුතින් අනාවරණය වී තිබේ.
2013 වසරේදී යැවුණු විද්‍යුත් පණිවිඩ සහ සටහන්වලට අනුව, එප්ස්ටයින්ට අයත් වර්ජින් අයිලන්ඩ්ස් හි පිහිටි “ලිට්ල් සෙන්ට් ජේම්ස්” (Little St. James) දූපතේ සංචාරය කිරීම සඳහා පවතින අවස්ථා සහ එහි ඇති පහසුකම් පිළිබඳව මස්ක් උනන්දුවක් දක්වා ඇති බව හෙළි වේ. මෙම දූපත ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ බලවත් පුද්ගලයන් සඳහා ලිංගික අපරාධ සිදු කිරීමට යොදාගත් “පාපී දූපතක්” ලෙසයි.මීට පෙර එලොන් මස්ක් අවධාරණය කර තිබුණේ තමා ජෙෆ්රි එප්ස්ටයින් සමඟ කිසිදු ව්‍යාපාරික හෝ පෞද්ගලික සම්බන්ධතාවක් පවත්වා නොමැති බවයි. එප්ස්ටයින් සමඟ එක්ව සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වූ අවස්ථාවේදී ද මස්ක් පවසා සිටියේ තමා ඔහුව හමු වූයේ අහඹු ලෙස සාදයකදී පමණක් බවයි.
කෙසේ වෙතත්, අලුතින් හෙළි වූ “එප්ස්ටයින් ලේඛන” (Epstein Files) මගින් පෙන්වා දෙන්නේ මස්ක් සහ එප්ස්ටයින් අතර මීට වඩා සමීප සන්නිවේදනයක් තිබූ බවයි. විශේෂයෙන්ම එප්ස්ටයින් හරහා සිය ව්‍යාපාරික ජාලය පුළුල් කර ගැනීමට මස්ක් උත්සාහ කළේද යන්න පිළිබඳව දැන් දැඩි සැකයක් මතුව ඇත.
2019 වසරේදී සිය සිරමැදිරිය තුළ අභිරහස් ලෙස මියගිය ජෙෆ්රි එප්ස්ටයින්ගේ මෙම ලේඛන හෙළිදරව් වීමත් සමඟ, එලොන් මස්ක්ගේ ප්‍රතිරූපයට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතී. අදාළ ලේඛනවල මස්ක්ගේ නම සඳහන් වීම සම්බන්ධයෙන් ඔහු මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති වුවද, විමර්ශකයින් පවසන්නේ මස්ක් පමණක් නොව තවත් ප්‍රකට දේශපාලනඥයින් සහ ව්‍යාපාරිකයින් රැසක් මෙම “රහස් දූපත” සමඟ ගනුදෙනු කර ඇති බවයි. මෙම හෙළිදරව්ව අමෙරිකානු මෙන්ම ගෝලීය ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ දැඩි කැලඹීමක් ඇති කිරීමට සමත්ව තිබේ.














