වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහැ දක්වා ධාවනය වෙමින් තිබියදී රාසින්ගොල්ල ප්‍රදේශයේදී අද (01) දරුණු අනතුරකින් බේරී ඇත්තේ රියදුරුගේ සුවිශේෂී දස්කම හේතුවෙනි. දිට්වා සුළි කුණාටුවෙන් නායයෑමට ලක්ව තිබූ මාර්ගයේ අධික වංගුවක් සහිත ස්ථානයකදී බස් රථයේ ‘ජොයින්ට්’ එක හදිසියේ බිඳී යාමෙන් එය රියදුරුගේ පාලනයෙන් මිදී තිබේ. අඩි 50ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළීමට ගිය බස් රථය, රියදුරු සමන් තිලකසිරි (48) මහතා විසින් වහාම ක්‍රියාත්මක වී අත්තිරිංග (Handbrake) යෙදීමෙන් ප්‍රපාතය අද්දර නතර කර ගැනීමට සමත් වී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 40 දෙනෙකු පමණ සිට ඇති අතර, රියදුරුගේ මෙම ක්ෂණික තීරණය නොවන්නට විශාල ජීවිත හානියක් සිදුවීමට ඉඩ තිබූ බව වලපනේ ඩිපෝවේ ධාවන කළමනාකාර බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. “ඩෝං ගාලා සද්දයක් ආපු ගමන් මම අත්තිරිංග තද කරලා බස් එක නතර කර ගත්තා. බැහැලා බලද්දී ජොයින්ට් එක දෙකට කැඩිලා තිබුණා” යැයි පවසමින් රියදුරු සිය අත්දැකීම විස්තර කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වලපනේ පොලිසිය සහ ලංගම බලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














