දෙස් විදෙස් බැතිමතුන්ගේ පූජනීයත්වයට පත් කතරගම පූජා නගරය වර්තමානය වන විට විවිධ ජාවාරම්කරුවන්ගේ සහ තැරැව්කරුවන්ගේ ගොදුරු බිමක් බවට පත්ව ඇතැයි වාර්තා වේ. වන්දනාකරුවන් නගරයට ඇතුළු වන මොහොතේ සිටම විවිධ උපක්‍රම හරහා ඔවුන්ව රවටා මුදල් සූරාකෑමේ සංවිධානාත්මක ජාලයක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශයේ කළ සංචාරයකදී අනාවරණය වී තිබේ. වාහන නතර කර ගැනීමට උදව් වන බව පවසා පූජා වට්ටි අලෙවි කිරීමේදී 30%ක කොමිස් මුදලක් ලබා ගන්නා තැරැව්කරුවන්ගේ සිට, පෝලිම්වල ඉස්සරහට දමා දීමට රුපියල් 1000ක මුදලක් අය කරන තරුණයින් දක්වා පිරිසක් පුදබිම තුළ සැරිසරති.
වඩාත් කනගාටුදායක තත්ත්වය වන්නේ පූජනීය ස්ථාන ආශ්‍රිතව සිදුවන මානුෂීය වෙස්ගත් ජාවාරම්ය. යාචක වෙස් ගත් පිරිස් උදෑසනින්ම වාහනවලින් ගෙනවිත් බස්සවන “මුදලාලිලා” පිරිසක් සිටින බවත්, බැතිමතුන් දන් දෙන බත් පාර්සල් නැවත ලබාගෙන රුපියල් 50-60 මුදලකට හෝටල් වෙත විකුණන ජාලයක් පවතින බවත් හෙළි වී ඇත. මීට අමතරව, පරණ ලොතරැයි පත් අලෙවි කිරීම, රජයේ දේපළ අනිසි ලෙස පරිහරණය කරමින් සිදු කරන විවිධ කටයුතු සහ රාත්‍රී කාලයේදී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් සිදුවන මත්ද්‍රව්‍ය හා දඩමස් ජාවාරම් ද පුදබිමේ පූජනීයත්වයට දැඩි කැලලක් එක් කර තිබේ.
පාසල් යන වයසේ දරුවන් පවා අධ්‍යාපනය පසෙකලා මුදල් සෙවීමේ අරමුණින් මෙම ජාවාරම්වලට යොදවා ඇති අයුරු දැකිය හැකි අතර, මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කළද තවමත් ස්ථිර විසඳුමක් ලැබී නොමැති බව ප්‍රදේශවාසීහු පවසති. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය, නගර සභාව සහ අනෙකුත් රාජ්‍ය ආයතන ඒකාබද්ධ වැඩපිළිවෙළක් වහා ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කෙරේ.














