නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තකට පෙනී සිට ආපසු යමින් සිටි නීතිඥවරුන් දෙදෙනෙකුට මරණ තර්ජනය කර ඔවුන්ගේ වාහනයට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් ජනවාරි 30 වැනිදා අධිකරණ පරිශ්‍රයෙන් පිටතදී පිරිසක් මාර්ගය අවහිර කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ඒ පිළිබඳව කළ පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර තිබුණි.
මිරිහාන පොලිස් කණ්ඩායමක් විසින් මාදම්පේ, කජුලන්දවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු 43 හැවිරිදි මාදම්පේ පදිංචිකරුවෙකි. නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වෙමින් සාපරාධී බිය ගැන්වීම් සහ අයුතු අවහිර කිරීම් සිදුකිරීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, අද (01) දින හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් සොයා මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














