නුවරඑළිය ප්‍රසිද්ධ සංචාරක කලාපයක් වන ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබූ අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් අද (01) දහවල් සොයාගත් බව නුවරඑළිය පොලිසිය වාර්තා කරයි. වැවේ රාජකාරියේ නිරතව සිටි බෝට්ටු කාර්ය මණ්ඩලය සහ ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ජලයේ යමක් පාවෙන බව දැක පොලිසියට ලබා දුන් තොරතුරකට අනුව මෙම සිරුර සොයාගෙන ඇත. පොලිස් නිලධාරීන් සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා එම ස්ථානයට පැමිණ මළ සිරුර ගොඩ ගැනීමට පියවර ගෙන තිබේ.
සොයාගත් බිළිඳු සිරුරේ පෙකණි වැලේ කොටසක් ද තවමත් පවතින බව පොලිසිය සඳහන් කරන අතර, මරණයට හේතුව සහ බිළිඳිය ජලාශයට දැමූ පුද්ගලයන් අනාවරණය කර ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර ඇති අතර, ප්‍රදේශයේ ගැබිණි මව්වරුන් සහ මෑතකදී දරු ප්‍රසූත සිදු කළ අය පිළිබඳව ග්‍රාම නිලධාරීන් හරහා තොරතුරු රැස් කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී. මෙම අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.














