ශ්‍රී ලාංකේය චිත්‍ර කතා කලාව නව මාවතකට යොමු කළ ප්‍රවීන චිත්‍ර සහ මූර්ති ශිල්පී කලා භූෂණ බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (01) උදෑසන අභාවප්‍රාප්ත විය. මියයන විට 85 වැනි වියෙහි පසු වූ ඒ මහතා, මෙරට චිත්‍ර කතා කලාවට ප්‍රථම වර්ණ චිත්‍ර කතාව වූ “නල දමයන්තී” හඳුන්වා දුන් පුරෝගාමියා ලෙස ඉතිහාසයට එක් වේ. පුවත්පත්, සඟරා, පොත් පිටකවර සහ තොරන් කලාව සිය ප්‍රතිභාවෙන් වර්ණවත් කළ ඔහු, දේශීය සිතුවම් සම්ප්‍රදාය පෝෂණය කිරීමට මහඟු මෙහෙවරක් ඉටු කළ අසහාය කලාකරුවෙකි.
1962 වසරේ ලේක්හවුස් ආයතනයෙන් සිය වෘත්තීය ගමන් මඟ ආරම්භ කළ හරිස්චන්ද්‍ර මහතා, පසුව සිත්තර, සත්සිරි සහ රසික යන පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා ලෙස ද සේවය කළේය. කසපහර, පණ්ඩුකාභය, නයනා සහ දේවතාපය වැනි ජනප්‍රිය චිත්‍ර කතා රැසක් නිර්මාණය කළ ඔහු, සිය පරිණත අවධියේදී බොරැල්ල ශ්‍රී ලංකාරාමය වැනි විහාරස්ථානවල බිතුසිතුවම් නිර්මාණයට ද දායක විය. ඒ මහතාගේ දේහය අළුබෝමුල්ල නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (02) පස්වරු 4.30 ට බණ්ඩාරගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.














