“කඩේ රෙදි හොරකම් කළ එවුන්ට දෙන දඬුවම මේකයි, පොලිසිය අදාළ නැහැ” යනුවෙන් පවසමින් පුද්ගලයෙකු ගසක කකුල් දෙකෙන් එල්ලා තබා ඇති ආකාරය දැක්වෙන ආන්දෝලනාත්මක වීඩියෝව හුදෙක් ‘ටික්ටොක්’ ප්‍රයෝගයක් බව කටුනායක පොලිසිය මගින් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මහත් සමාජ කැලඹීමක් ඇති කළ මෙම වීඩියෝව සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, මත්පැන් පානය කර සිටි පුද්ගලයන් තිදෙනෙකු විසින් මත්පැන් බෝතලයක් ලබා ගැනීමේ අරමුණින් මෙම දර්ශනය රූගත කර ඇති බවයි.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූයේ, අදාළ නිවසක බෝඩිමක සිටි 39 හැවිරිදි පුද්ගලයෙකුට තවත් මත්පැන් ලබා දෙන බවට නිවෙස් හිමිකරු කළ පොරොන්දුවක් මත ඔහු ස්ව කැමැත්තෙන්ම ලිඳේ කඹයක් ගෙන කකුල් දෙකේ ගැට ගසා ගෙන අඹ ගසක එල්ලී ඇති බවයි. එහිදී නිවෙස් හිමිකරු විසින් ටික්ටොක් වීඩියෝවක් සඳහා “පොලිසිය වැඩක් නැහැ” යනුවෙන් හඬ එකතු කරමින් මෙය සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇත. මෙම ක්‍රියාව මගින් මහජන කැළඹීමක් සහ සමාජ භීතියක් ඇති කිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිස් නීති කොට්ඨාසයෙන් උපදෙස් පතා තිබේ.














