කිසිදු පොලිස් නිලධාරියකුට වසර තුනකට වඩා වැඩි කාලයක් එකම පොලිස් ස්ථානයක සේවය කිරීමට ඉඩ නොදී ක්‍රමානුකූලව මාරු කර යැවීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජයපාල මහතා පවසයි. වසර තුනකට අධික කාලයක් එකම ප්‍රදේශයක සේවය කිරීම හරහා නිලධාරීන් සහ ප්‍රදේශයේ නීතිවිරෝධී කටයුතුවල නිරත පුද්ගලයන් අතර හිතවත්කම් ගොඩනැගීමට ඇති ඉඩකඩ මගහැරවීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බව ඇමැතිවරයා පෙන්වා දෙයි.
මෑතකදී සිදුකළ පොලිස් මාරුකිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා අවධාරණය කළේ, වසර තුනකට වඩා එකම ස්ථානයක සේවය කළ සියලු නිලධාරීන් වැරදිකරුවන් ලෙස මෙයින් අදහස් නොකරන බවයි. පොලිස් කොට්ඨාස තුළ මහජනතාව අතර ජනප්‍රිය වූ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් බොහෝ පිරිසක් සිටින බැවින්, මෙම මාරුකිරීම් සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් ඇති කර නොගන්නා ලෙස ද ඔහු මාධ්‍යයෙන් ඉල්ලා සිටියි.













