වයස අවුරුදු 18ට අඩු පිරිමි දරුවන් 36 දෙනකු ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන මහනුවර පේරාදෙණිය පාරේ පදිංචි ව්‍යාපාරිකයකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර ප්‍රදේශයේ පුද්ගලයකු කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයේදී සැකකරු සතු ඩිජිටල් උපකරණ පරීක්ෂා කිරීමෙන් මෙම මහා පරිමාණ අපයෝජන මාලාව පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
සැකකාර ව්‍යාපාරිකයා තවත් පුද්ගලයන් කිහිපදෙනකු සමඟ එක්ව මෙම ලිංගික ක්‍රියාකාරකම් වීඩියෝ ගත කර ඇති බවට ද තොරතුරු හෙළි වී ඇති අතර අපයෝජනයට ලක් වූ දරුවන් හඳුනා ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. දැනට කොටහේන පොලිසියේ රඳවා සිටින සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පැය 72ක රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන ඇති අතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනියන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක වේ.













