ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය තුළ ටෙලිමෙඩිසින් (Telemedicine) සේවාවන් ආරම්භ කිරීම සඳහා USAID ආධාර යටතේ මෙරටට ගෙන්වන ලද රූපවාහිනී යන්ත්‍ර 230කට අධික ප්‍රමාණයක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. ප්‍රධාන රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් සහ පර්යන්ත රෝහල්වල වෛද්‍යවරුන් අතර සන්නිවේදනය දියුණු කිරීම සඳහා ගෙන්වන ලද මෙම උපකරණ බොහොමයක් දීර්ඝ කාලයක් භාවිත නොකිරීම සහ නිසි නඩත්තුවක් නොමැතිකම හේතුවෙන් දැනටමත් අක්‍රිය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
රජයේ සෞඛ්‍ය අංශය තුළ ක්‍රියාත්මක වන දුර්වල ලෙස සැලසුම් කළ ඩිජිටල්කරණ වැඩසටහන් හේතුවෙන් මහජන මුදල් සහ සම්පත් විශාල වශයෙන් නාස්ති වන බව චමල් සංජීව මහතා විවේචනය කරයි. තොරතුරු තාක්ෂණය පිළිබඳව රජයේ වියදමින් මෙරටදී සහ විදේශයන්හිදී පුහුණුව ලැබූ වෛද්‍යවරුන් බහුතරයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ බස්නාහිර පළාතට පමණක් සීමා වී සිටීම මෙම ව්‍යාපෘති අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් බව ඔහු පෙන්වා දෙයි. මෙම මූල්‍ය පාඩු සහ අක්‍රමවත් ඩිජිටල්කරණය පිළිබඳව වහාම විගණනයක් පවත්වා වගකිවයුත්තන් හඳුනාගත යුතු බවට ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.














