ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට අනුව පිරිවැය පරාවර්තනය වන විදුලි ගාස්තු ක්‍රමවේදයක් (Cost-reflective pricing) පවත්වාගෙන යාම අනිවාර්ය වුවද, නියමිත වේලාවට ලංකා විදුලිබල මණ්ඩලය සිය ගාස්තු සංශෝධන යෝජනා ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම පිළිබඳව IMF කණ්ඩායම රජයෙන් කරුණු විමසා තිබේ. එවාන් පැපජෝර්ජියෝගේ ප්‍රධානත්වයෙන් යුත් IMF නියෝජිත පිරිසක් පසුගිය ජනවාරි 22 සිට 28 දක්වා මෙරට සංචාරයක නිරත වූ අතර එහිදී මෙම කරුණු අනාවරණය වී ඇත.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් 2025 නොවැම්බර් 14 වැනිදාට පෙර ගාස්තු සංශෝධන යෝජනා ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබුණද, විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ දෙසැම්බර් 29 වැනිදාය. එම යෝජනාවල දෝෂ පැවතීම හේතුවෙන් ඒවා නිවැරදි කර ජනවාරි 08 වැනිදාට පෙර නැවත ලබා දෙන ලෙස දැනුම් දුන්නද මණ්ඩලය එයට අපොහොසත් වී තිබේ. මේ හේතුවෙන් ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ 11.57%ක ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති අතර, මීළඟ වාරයේදී නියමිත වේලාවට අදාළ වාර්තා ඉදිරිපත් කරන බවට රජය IMF වෙත සහතික වී ඇත.














