ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ (OUSL) ඉංජිනේරු කණ්ඩායමක් 2010 වසරේදී මෙරට ප්‍රථම විද්‍යුත් බස් රථය සාර්ථකව නිපදවා තිබුණද, පද්ධතියේ පවතින නීතිමය බාධා හේතුවෙන් එම ව්‍යාපෘතිය අසාර්ථක වූ බව ව්‍යාපෘතියේ සාමාජිකයෙකු වූ නුවන් විජේරත්න මහතා අනාවරණය කරයි. UNDP සහ ලංකා විද්‍යුත් වාහන සංගමයේ දායකත්වයෙන් ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය යටතේ අබලන් වූ ලංගම බස් රථයක් විද්‍යුත් රථයක් බවට පරිවර්තනය කළ අතර, එය සාර්ථකව අත්හදා බැලීම් ද සිදු කර තිබුණි. කෙසේ වෙතත්, එවකට පැවති නීතිමය තත්ත්වයන් මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගැනීමට නොහැකි වීම සහ රක්ෂණ ආයතනවල මැලිකම හේතුවෙන් වසර දෙකක දැවැන්ත උත්සාහය අත්හැර දැමීමට එම කණ්ඩායමට සිදුවී තිබේ.
මෙම ව්‍යාපෘතියට දායක වූ දක්ෂ ඉංජිනේරුවන් රැසක් මේ වන විට විදෙස්ගතව සිටින අතර, නුවන් විජේරත්න මහතා ඕස්ට්‍රේලියාවේ සුප්‍රකට BYD විද්‍යුත් වාහන ආයතනයේ සේවය කරමින් සිය දක්ෂතා ජාත්‍යන්තරයට ලබා දෙමින් සිටියි. දේශීය බුද්ධිමතුන්ගේ දක්ෂතාවලින් නිසි ප්‍රයෝජන නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙස, අපේම අය විදේශයන්හි නිපදවන වාහන නැවතත් විශාල මුදලක් ගෙවා මෙරටට ආනයනය කිරීමට සිදුවීම කණගාටුදායක තත්ත්වයක් බව ඔහු සිය සමාජ මාධ්‍ය සටහන මගින් අවධාරණය කර ඇත.














