විදේශීය රියැදුරු බලපත්‍ර දරන්නන් සඳහා ශ්‍රී ලංකාව තුළ රිය පැදවීමට අවශ්‍ය තාවකාලික බලපත්‍ර (Recognition Permit) නිකුත් කිරීමේ සේවාව දැන් ප්‍රධාන කාර්යාලයට අමතරව ප්‍රාදේශීය කාර්යාල පහකදී ද ලබාගත හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව කොළඹට පැමිණීමකින් තොරව කුරුණෑගල, හම්බන්තොට, ගම්පහ, අනුරාධපුර සහ යාපනය යන මෝටර් රථ ප්‍රවාහන දිස්ත්‍රික් කාර්යාල මගින් මෙම සේවාව ලබා ගැනීමට විදේශිකයන්ට සහ විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව සලසා දී ඇත. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ සේවා ලබාගන්නන්ගේ පහසුව තකා මෙම පියවර ගෙන තිබේ.
මෙම බලපත්‍රය ලබා ගැනීම සඳහා වලංගු විදේශීය රියැදුරු බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය සහ වීසා බලපත්‍රයේ පිටපත් ඉදිරිපත් කළ යුතු අතර, අදාළ බලපත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් නොමැති නම් එහි සහතික කළ ඉංග්‍රීසි පරිවර්තනයක් ද අවශ්‍ය වේ. මීට අමතරව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කවුන්ටරය මගින් ද පැය 24 පුරාම මෙම සේවාව ලබාගත හැකි බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.














