වසර 11කට පෙර පැවති ‘සිරිලිය සවිය’ සංවිධානයේ ගිණුම් වාර්තා සම්බන්ධ විමර්ශනයක් සඳහා හිටපු ජනාධිපති ආර්ය ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (03) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත කැඳවීම දේශපාලන මර්දනයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ 2015 වසරේදී ආරම්භ කළ මෙම විමර්ශනයට අදාළ සියලු ලේඛන සහ බැංකු පොත් එවකටම පොලිස් භාරයට ගෙන තිබියදී, යළිත් වරක් ප්‍රකාශ ලබා ගැනීමට කැඳවීම හාස්‍යට කරුණක් බවයි. 2006 වසරේ ලියාපදිංචි කළ ‘සිරිලිය සවිය’ ස්වේච්ඡා සංවිධානය හරහා සිදුවූයේ පොදු ජන සුබසාධන කටයුතු බවත්, වත්මන් රජය සිය දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කර ගනිමින් වෛරී සහගත ලෙස කටයුතු කරන බවත් එම නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.














