2023 වසර ආරම්භයේදී චීන හමුදාවේ විශේෂිත දෙපාර්තමේන්තු සහ විධානයන් මෙහෙයවීම සඳහා අවම වශයෙන් ජෙනරාල්වරුන් සහ අද්මිරාල්වරුන් 30 දෙනෙකු සිටි නමුත්, ෂී ජින්පින් විසින් දියත් කරන ලද දැවැන්ත ශෝධනය හමුවේ ඔවුන්ගෙන් බහුතරයක් මේ වන විට හමුදාවෙන් නෙරපා හැර හෝ අතුරුදන් වී ඇති බව වාර්තා වේ. මෙම පියවර ෂී ජින්පින් සතු අසාමාන්‍ය බලය විදහා දැක්වීමක් වුවද, එමඟින් සමස්ත චීන හමුදා නායකත්වය තුළ විශාල රික්තයක් නිර්මාණය වී තිබේ. 2023 මාර්තු මාසයේදී ලෝක මට්ටමේ හමුදාවක් ගොඩනැගීම සඳහා ෂී ජින්පින් විසින්ම තෝරා ගන්නා ලද විශ්වාසවන්ත නිලධාරීන්ගෙන් සැදුම්ලත් හමුදා නායකත්වයක් රට හමුවේ පෙනී සිටියද, දූෂණය පිටුදැකීම සහ තමාට ඇති පක්ෂපාතීත්වය තහවුරු කර ගැනීම යන කරුණු මත ඔවුන් කිසිවෙකුටත් මෙම මර්දනයෙන් ගැලවීමට නොහැකි වී ඇත.
මධ්‍යම හමුදා කොමිසමේ සාමාජිකයන් එකින් එක ඉවත් කර පරීක්ෂණවලට භාජනය කෙරෙන අතර, එහි නවතම ගොදුර වී ඇත්තේ ෂී ජින්පින්ගේ ප්‍රධානතම ජෙනරාල්වරයා වූ ෂැං යූෂියා ය. පසුගිය වසර තුනක කාලය තුළ පමණක් ඔහු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දුසිම් ගණනක් ඉවත් කර ඇති අතර, මෙය නූතන චීන ඉතිහාසයේ සිදු වූ දැවැන්තම හමුදා පෙරළිය ලෙස සැලකේ. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ විශ්ලේෂණයකට අනුව, 2023 වසරේ සිටි ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන්ගෙන් දැනට ක්‍රියාකාරී සේවයේ රැඳී සිටිනුයේ හත් දෙනෙකු පමණි. යුද්ධයක් සඳහා හමුදාව සූදානම් කරන ප්‍රධාන මෙහෙයුම් අණදෙන නිලධාරීන් වූ ජෙනරාල් ෂැං සහ ජෙනරාල් ලියු චෙන්ලි යන දෙදෙනාම ඉවත් කිරීම චීන මහජන විමුක්ති හමුදාවේ සූදානම පිළිබඳව ෂී ජින්පින් තුළ පැවති විශ්වාසය පළුදු වීමට හේතුවක් විය හැකිය.
දැනට හමුදා කොමිසම තුළ ඉතිරිව සිටින එකම ජෙනරාල්වරයා වන්නේ ෂැං ෂෙංමින් වන අතර, ඔහු ෂී ජින්පින්ගේ හමුදා මර්දන කටයුතු අධීක්ෂණය කරමින් දේශපාලන විනය සහ පක්ෂපාතීත්වය පවත්වාගෙන යාමේ වගකීම දරයි. මෙම දොට්ට දැමීම් හමුදාවේ සියලුම අංශ වෙත ව්‍යාප්ත වී ඇති අතර, විශේෂයෙන්ම න්‍යෂ්ටික මිසයිල පාලනය කරන රොකට් බලකාය සහ නාවික හමුදාව මෙන්ම තායිවානය අවට මෙහෙයුම් භාරව සිටින නැගෙනහිර විධානය ද මීට ගොදුරු වී ඇත. හමුදා පුවත්පත් හරහා සෙබළුන්ට දැනුම් දී ඇත්තේ මෙම තීරණවලට සහාය දෙමින් ෂී ජින්පින් වටා රොක් වන ලෙසයි. වයස අවුරුදු 72ක් වන ෂී ජින්පින් 2027 වසරේදී සිය සිව්වන ධුර කාලය අපේක්ෂාවෙන් සිටින අතර, ඊට පෙර ඔහුට විශ්වාස කළ හැකි නව ජෙනරාල්වරුන් කණ්ඩායමක් සොයා ගැනීම ඔහුගේ මීළඟ අභියෝගය වනු ඇත.














