ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති භාරකාරීත්වය දරන මාලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) විසින් ක්‍රිකට් නීති පද්ධතියට වැදගත් සංශෝධන 73ක් එක් කර ඇති අතර, එය 2026 ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය. මෙහි ඇති විශේෂිතම වෙනස වන්නේ මෙතෙක් ‘නීති විරෝධී’ ලෙස සැලකූ, ලී කැබලි කිහිපයක් බද්ධ කර නිපදවන ලද (Laminated – Type D) පිති සඳහා ආධුනික ක්‍රිකට් ක්‍රීඩාවේදී අවසර ලබා දීමයි. ඉංග්‍රීසි විලෝ (English Willow) ලීවල පවතින දැඩි හිඟය සහ මිල ඉහළ යාම හමුවේ සාමාන්‍ය ක්‍රීඩකයන්ට සහන සැලසීම මෙහි අරමුණ වේ.
මෙම නව සංශෝධන යටතේ පිත්තක මුහුණතට පමණක් ඉංග්‍රීසි විලෝ ලී යොදා, පිටුපස කොටස සඳහා කාශ්මීර විලෝ හෝ වෙනත් ලී වර්ගයක් භාවිතා කිරීමට අවසර ලැබේ. කෙසේ වෙතත්, ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවන් සඳහා තවදුරටත් තනි ලීයෙන් නිපදවන ලද (Type A, B, C) පිති පමණක් භාවිතා කළ යුතුය.
පිතිවලට අමතරව තවත් වැදගත් නීති කිහිපයක් සංශෝධනය වී ඇත:
දවසේ අවසන් ඕවරය: මින් ඉදිරියට බහුදින තරඟයක දවසේ අවසන් ඕවරය අතරතුර කඩුල්ලක් දවා ගත්තද, එම ඕවරය අවසන් වන තෙක් ක්‍රීඩා කළ යුතුය.
උඩපන්දු නීතිය (Bunny Hop): සීමා ඉරෙන් පිටත සිට පැන උඩපන්දුවක් රැකීමේදී, පන්දු රකින්නාට ගුවනේදී පන්දුව ස්පර්ශ කළ හැක්කේ එක් වරක් පමණි. ඉන්පසු ඔහු පන්දුව රැකීමට පෙර සීමා ඉර තුළ රැඳී සිටිය යුතුය.
කඩුලු රකින්නාගේ අත් ආවරණ: පන්දු යවන්නා දිව එන අවස්ථාවේදී අත් ආවරණ කඩුල්ල ඉදිරියෙන් තබා ගැනීමට අවසර ලැබුණද, පන්දුව මුදා හරින අවස්ථාවේදී ඒවා කඩුල්ලට පිටුපසින් තිබිය යුතුය.
පන්දු ප්‍රමිතිකරණය: කාන්තා සහ කනිෂ්ඨ ක්‍රිකට් පන්දු සඳහා ප්‍රමාණය සහ බර අනුව කාණ්ඩ 3ක් (Size 1, 2, 3) යටතේ නව ප්‍රමිතීන් හඳුන්වා දී ඇත.














