වසර 450කට අධික විදේශ පාලනයකින් පසු 1948 පෙබරවාරි 04 වැනිදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ලබන අදට වසර 78ක් සපිරෙයි. 1815 මාර්තු 02 වැනිදා අත්සන් තැබූ උඩරට ගිවිසුම මගින් මෙරට ස්වෛරීභාවය බ්‍රිතාන්‍යයන් සතු වූ අතර, වසර 133ක යටත්විජිත පාලනය නිමා කරමින් ඩී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ඩොමීනියන් තත්ත්වය ලබා ගත්තේය. නිදහස් ලංකාවේ ප්‍රථම නිදහස් උළෙල 1948 පෙබරවාරි 10 වැනිදා කොළඹ නිදහස් චතුරස්‍රයේදී ග්ලෝස්ටර්හි ආදිපාදවරයාගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.
ශ්‍රී ලංකාවේ නිදහස් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන කිහිපයක් මෙසේය: 1952 නිදහස් උළෙලේදී සුළු ජාතීන් නියෝජනය වන පරිදි කොළ සහ තැඹිලි වර්ණ තීරු ඇතුළත් කළ වර්තමාන ජාතික කොඩිය ප්‍රථම වරට නිල වශයෙන් භාවිත විය. 1961 වසරේදී ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් නිදහස් උළෙල මහනුවරදී පැවැත්විණි. 1972 මැයි 22 දින ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමඟ ‘සිලෝන්’ යන නාමය වෙනුවට ‘ශ්‍රී ලංකා’ යන නාමය භාවිතයට ගැනුණි. 1978 පෙබරවාරි 04 වැනිදා ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට ප්‍රථම විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය. 2010 වසරේදී 30 වසරක යුද්ධය නිමා කිරීමෙන් පසු පළමු වරට අභිමානවත් නිදහස් උළෙලක් මහනුවරදී පවත්වන ලදී.
මෙවර 78 වැනි නිදහස් සැමරුම ‘අපි ශ්‍රී ලංකාව ගොඩනඟමු’ යන තේමාව යටතේ පැවැත්වීමට රජය සියලු කටයුතු සූදානම් කර තිබේ. උපන් බිමෙහි අභිමානය ආරක්ෂා කරමින්, සියලු ජාතීන් අතර සහජීවනය සහ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරියට යාම මෙවර සැමරුමේ ප්‍රමුඛ අරමුණ වී ඇත.














