නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේදී ජාතික සමගිය ප්‍රධානතම ශක්තිය වන බවත්, එහිදී සෑම පුරවැසියෙකුම නීතිය නමැති රේඛාවට යටත් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. 78 වැනි නිදහස් දින සැමරුම අමතමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ නිදහස පරිපූර්ණ වන්නේ රට ආර්ථික වශයෙන් නිදහස අත්පත් කරගන්නා ප්‍රමාණය මත බවයි. “ගොඩනගමු ශ්‍රී ලංකා” තේමාව යටතේ අතීතයේ පැවති අගතීන් බැහැර කර, දැනුමෙන් සහ සහකම්පනයෙන් පිරි නව මානව සම්පතක් නිර්මාණය කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සිදු කිරීමට රජය සූදානම් බවද හෙතෙම සඳහන් කළේය.
ජාතිවාදය සහ අන්තවාදය ශ්‍රී ලාංකීය ශබ්දකෝෂයේ පවතින “අවලස්සනම වචන දෙක” ලෙස හැඳින්වූ ජනාධිපතිවරයා, රටේ කිසිදු බෙදීමකට හෝ අන්තවාදයකට මින් ඉදිරියට ඉඩ නොතබන බවට යළිත් සපථ කළේය. නීතියේ ආධිපත්‍යය බිඳදමන පිරිස් නීතියට බිය වුවද, නිවැරදි පුරවැසියා නීතියේ ආධිපත්‍යය සැමවිටම අපේක්ෂා කරන බව පවසමින්, නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන රාජ්‍යයක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛතම වගකීම බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














