හිටපු ලිබියානු පාලක කර්නල් මුවම්මර් ගඩාෆිගේ උරුමක්කාරයා ලෙස සැලකුණු සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඊයේ (03) වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියයන විට 53 වන වියේ පසුවූ ඔහුගේ මරණය දේශපාලන කණ්ඩායමේ ප්‍රධානියා විසින් තහවුරු කර ඇත. සින්තාන් (Zintan) නගරයේ පිහිටි ඔහුගේ නිවසට කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව ඔහුගේ නීතිඥවරයා පවසන අතර, ඔහු ඇල්ජීරියානු දේශසීමාව අසලදී මියගිය බවට ඔහුගේ සොහොයුරිය ප්‍රකාශ කර තිබේ. අධිකරණ වෛද්‍ය නිලධාරීන් මරණයට හේතුව වෙඩි වැදීමක් බව තහවුරු කර ඇති අතර ලිබියානු නීතිපති කාර්යාලය මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
2011 වසරේ ගඩාෆි පාලනය බිඳ වැටීමට පෙර ලිබියාවේ වඩාත්ම බලගතු පුද්ගලයෙකු වූ සයිෆ් අල්-ඉස්ලාම්, කැරැල්ල මර්දනය කිරීමේදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කළ බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු ලැබූවෙකි. 2015 දී ට්‍රිපොලි අධිකරණයක් මගින් ඔහුට මරණ දඬුවම නියම වුවද, 2017 දී පොදු සමාවක් යටතේ නිදහස ලබා වසර කිහිපයක් රහසිගතව ජීවත් විය. 2021 වසරේදී ලිබියාවේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව ඔහු නිවේදනය කළ ද, එම මැතිවරණය දින නියමයකින් තොරව කල් දැමීම හේතුවෙන් ඔහුගේ දේශපාලන පුනරාගමනය අඩාල වී තිබුණි.














