වලස්මුල්ල ඇත්පිටිය ගම්මානය අද පසුවන්නේ දැඩි සංවේගයෙනි. අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදියක් පැදවීමට තිබූ කුහුල් බව සහ ආසාව අවසානයේ 21 හැවිරිදි දිනේෂ් චාමර නමැති තරුණයාගේ ජීවිතය බිලිගෙන තිබේ. “පදින්න ආසයි” කියා මිතුරෙකුගෙන් ඉල්ලා ගත් එම යතුරුපැදිය සමඟින් ඔහු ගිය ගමන විදුලි කණුවක ගැටී අවසන් වූයේ මුළු ගමක් කඳුළින් තෙත් කරමිනි. අනතුර සිදු වූ ස්ථානයට ඔහුගේම සහෝදරයා සහ යතුරුපැදියේ හිමිකරු යන විටත්, ලේ විල් මැද වැටී සිටි දිනේෂ්ගේ හදවත නතර වී තිබූ බව හදිසි මරණ පරීක්ෂණයේදී හෙළි වූ සාක්ෂිවලින් පැහැදිලි විය.
තංගල්ල මූලික රෝහලේදී පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී තීරණය කෙරුණේ, යතුරුපැදිය වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ දරුණු ගැටීමෙන් තරුණයාගේ හිස් කබලට සහ මොළයට සිදුවූ බරපතල හානි මරණයට හේතු වූ බවයි. තරුණ ජවයත්, වේගයට තිබූ ආසාවත් අතර සැඟවී ඇති මරණයේ අවදානම මනාව කියාපාන මෙම ශෝකී පුවත, මෙරට තරුණ පරම්පරාවට මෙන්ම දෙමාපියන්ට ද ලබා දෙන්නේ කිසිදා අමතක නොවන වේදනාකාරී පාඩමකි. මියගිය දිනේෂ්ගේ සොහොයුරා ද හදිසි මරණ පරීක්ෂකවරයා ඉදිරියේ සාක්ෂි දෙමින් සිය සහෝදරයාගේ අකල් වියෝව දරාගත නොහැකිව සංවේදී විය.














