ශ්‍රී ලංකාවේ 78 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින්පින් (Xi Jinping) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ සුබ පැතුම් පණිවිඩයක් යොමු කර තිබේ. සංවර්ධනය සහ පුනර්ජීවනය කරා යන ගමනේදී චීනය සහ ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් කටයුතු කරන සමීප හවුල්කරුවන් බව චීන ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත. විශේෂයෙන්ම 2025 ජනවාරි මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදුකළ රාජ්‍ය සංචාරය සහ එහිදී දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ඇති කරගත් එකඟතාවන් පිළිබඳව ද ෂී ජින්පින් මහතා සිය පණිවිඩය මගින් සිහිපත් කර තිබේ.
දෙරට අතර පවතින උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීමටත්, පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමටත් තමා කැපවී සිටින බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත. මීට සමගාමීව චීන අගමැති ලී ක්වැන් (Li Qiang) මහතා ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වෙත සිය නිදහස් දින සුබ පැතුම් එක්කර තිබේ. ලෝක බලවතෙකු වන චීනයෙන් ලැබුණු මෙම සුබ පැතුම්, ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික ගමන්මගට වැදගත් සලකුණක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.














