මෝදර “හෙළමුතු සෙවන” මහල් නිවාස සංකීර්ණයේ 5 වැනි මහලෙන් පහළට ඇද වැටී සිවු හැවිරිදි පිරිමි දරුවෙකු අනතුරට ලක්වීමේ අවාසනාවන්ත සිදුවීමත් සමඟ මෙරට අඩු ආදායම්ලාභී මහල් නිවාස පද්ධතිවල පවතින අනාරක්ෂිත බව පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබේ. දරුවා ඇද වැටුණු ස්ථානයේ ආරක්ෂිත වැටවල් සහ යකඩ ආවරණ නිසි ප්‍රමිතියෙන් තොරව හා දිරාපත් වී තිබීම මෙම අනතුරට ප්‍රධාන හේතුව බව මූලික විමර්ශනවලදී අනාවරණය විය. මෙම සිද්ධිය පදනම් කරගනිමින් සිදුකළ මූලික සොයා බැලීම්වලදී කොළඹ සහ ඒ අවට පිහිටි මෙවැනි මහල් නිවාස සංකීර්ණ 24ක් පමණ පවතින්නේ අතිශය අවදානම් සහගත ප්‍රමිතියෙන් තොර තත්ත්වයක බව හෙළි වී තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය සහ අදාළ පාලනාධිකාරීන් විසින් මෙම නිවාස පද්ධති නිසි නඩත්තු කිරීම්වලට ලක් නොකිරීම හේතුවෙන් ආරක්ෂිත වැටවල්, විදුලි සෝපාන සහ පොදු ස්ථාන රැසක් දිරාපත් වී ඇති බවට නිවැසියන් චෝදනා කරති. මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, හෙළමුතු සෙවන ඇතුළු අනෙකුත් සංකීර්ණවල පවතින දිරාපත් වූ ආරක්ෂිත වැටවල් කඩිනමින් පිළිසකර කිරීමටත්, සමස්ත නිවාස පද්ධතියේම ප්‍රමිතිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසටත් බලධාරීන්ට උපදෙස් ලැබී ඇත. දරුවාගේ අනතුරෙන් කම්පනයට පත්ව සිටින ජනතාව ඉල්ලා සිටින්නේ තවත් මෙවැනිම විපතක් සිදුවීමට පෙර මෙම “මරණ උගුල්” වහාම යථා තත්ත්වයට පත් කරන ලෙසයි.














