පෙබරවාරි 05 – මුලතිව්, ඔට්ටිසුඩාන් පුලියන්කුලම අලගරෙයි ප්‍රදේශයේ වනඅලින් පලවා හැරීම සඳහා අනවසරයෙන් ඉදිකර තිබූ විදුලි වැටක ගැටීමෙන් සිව් හැවිරිදි පිරිමි දරුවෙකු ඉකුත් 03 වැනිදා සවස අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මෝහනරාසා ලෝහිතන් නැමති දරුවෙකි. තම මව ගවයන් සඳහා තණකොළ කපමින් සිටි ස්ථානය අසල සෙල්ලම් කරමින් සිටි මෙම දරුවා, එක්වරම එහි අසාමාන්‍ය ලෙස ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් විදුලිසර වැදී ඇති බව වාර්තා වේ.
දරුවා වහාම ඔට්ටිසුඩාන් රෝහල වෙත ඇතුළත් කළද ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මෘත ශරීරය මුලතිව් රෝහල වෙත යොමු කර තිබේ. නීති විරෝධී ලෙස විදුලි වැටක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඔට්ටිසුඩාන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, ඊට වගකිව යුතු ඉඩම් හිමියා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.














