පෙබරවාරි 05 – ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර වසර ගණනාවක් පුරා පවතින රාජ්‍යතාන්ත්‍රික සහ න්‍යෂ්ටික අර්බුදයට විසඳුම් සෙවීමේ තීරණාත්මක සාකච්ඡාවක් හෙට (06) ඕමානයේදී පැවැත්වීමට නියමිතව තිබේ. කටාර් රාජ්‍යය, තුර්කිය සහ ඊජිප්තුව යන රටවල මැදිහත් වීමෙන් සකස් කරන ලද විශේෂ රාමුවක් යටතේ මෙම සාකච්ඡා මෙහෙයවනු ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුරේනියම් සාරවත් කිරීම සීමා කිරීම, බැලිස්ටික් මිසයිල පාලනය සහ කලාපීය සන්නද්ධ කණ්ඩායම් වෙත සැපයෙන යුද ආධාර පාලනය කිරීම වැනි කරුණු කෙරෙහි මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරෙනු ඇත.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසා ඇත්තේ මෙම සාකච්ඡා මගින් දෙරට අතර පවතින ගැටලුවලට සාධනීය විසඳුම් අපේක්ෂා කරන බවයි. ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් සාධාරණ සහ යුක්ති සහගත ලෙස මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට සිය විදේශ අමාත්‍යවරයාට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව ද සඳහන් වේ. කලාපීය බලවතුන්ගේ මැදිහත් වීමෙන් පැවැත්වෙන මෙම හමුව මධ්‍යම පෙරදිග කලාපයේ ස්ථාවරත්වයට බෙහෙවින් බලපානු ඇතැයි දේශපාලන විචාරකයෝ විශ්වාස කරති.













