පෙබරවාරි 05 – ඉන්දීය නාවික හමුදාව හෝ ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් ශ්‍රී ලාංකික ධීවරයින්ට පහරදීමක් සිදුකර ඇති බවට එල්ලවන චෝදනා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි. මෙරට ධීවරයින් පිරිසකට ඉන්දීය නිලධාරීන් පහරදුන් බවට පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් මහ කොමසාරිස් කාර්යාල ප්‍රකාශකයා අවධාරණය කළේ, එවැනි කිසිදු සිදුවීමක් ඉන්දීය ආරක්ෂක අංශ අතින් සිදුව නොමැති බව තහවුරු කළ හැකි බවයි. දෙරට අතර පවතින සාගරික සීමා ආශ්‍රිතව ධීවර ගැටලු නිරන්තරයෙන් උණුසුම් මුහුණුවරක් ගන්නා පසුබිමක ඉන්දියාව මෙම නිල ප්‍රකාශය නිකුත් කර තිබේ.














