ඉන්දියාවේ පූනෙයි නුවර පැවැති නේවාසික කඳවුරකට සහභාගී වූ ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ පාසල් සිසුවියන් ඇතුළු පිරිසක් නැවත දිවයිනට පැමිණීමට නොහැකිව මුම්බායි ගුවන්තොටුපොළේ සිරවී සිටිති. ඉකුත් ජනවාරි 30 වනදා ඉන්දියාව බලා පිටත්ව ගිය මෙම පිරිසට, ඊයේ (04) දින නැවත පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානය මගහැරී ඇත්තේ ඔවුන් ගමන් කළ මාර්ගයේ සිදු වූ රිය අනතුරක් සහ දැඩි වාහන තදබදයක් හේතුවෙනි. නියමිත වේලාවට ගුවන්තොටුපොළ වෙත ළඟාවීමට නොහැකි වීම නිසා ඔවුන් පත්ව ඇති අපහසුතාව පිළිබඳව දෙමාපියන් විසින් බලධාරීන් දැනුවත් කර තිබේ.
මෙම සිදුවීම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා දැනුවත් කර ඇති අතර, අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ සිරවී සිටින බාලදක්ෂිකාවන් සහ නිලධාරිනියන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඔවුන්ගේ ආරක්ෂාව සහ නැවත පැමිණීමේ ගුවන් ප්‍රවේශපත් සම්බන්ධීකරණය කිරීමට දැනටමත් කටයුතු යොදා ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.














