පෙබරවාරි 05 – පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම්වරයා විසින් කතානායකවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති පැමිණිල්ල විභාග කිරීමේ කටයුතුවලට කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා බලපෑම් කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද (05) සභාවේදී අනාවරණය කළේය. කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින්, අදාළ පැමිණිල්ල සිදු කිරීම සඳහා තොරතුරු ලබාගත්තේ කෙසේද යන්න පිළිබඳව විමර්ශනය කර වාර්තාවක් ඉල්ලා ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම ක්‍රියාව අල්ලස් කොමිසමේ ස්වාධීන විමර්ශන ක්‍රියාවලියට සෘජුවම බාධා කිරීමක් මෙන්ම පාර්ලිමේන්තුවේ පරිපාලනයට සිදුකරන අනිසි බලපෑමක් බව ද හර්ෂණ රාජකරුණා මහතා අවධාරණය කළේය. අදාළ ලිපිය සභාගත කිරීමට (හැන්සාඩ් ගත කිරීමට) මන්ත්‍රීවරයා කටයුතු කළ අතර, එම අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සහ හර්ෂණ රාජකරුණා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවිය. කතානායකවරයාගේ සමීපතම නිලධාරියෙකු මෙලෙස කටයුතු කිරීම බරපතල තත්ත්වයක් බවත්, මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් විපක්ෂය වැඩිදුරටත් ඉල්ලා සිටියි.












