ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීමේ අරමුණින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක කෙරෙන සති දෙකක හදිසි වැඩපිළිවෙළක් ආරම්භ කරන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ප්‍රදීප් ලක්ප්‍රිය කුමාරවඩු මහතා පවසයි. ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ සහ එංගලන්තයේ පිහිටි ‘Mission Rabies’ ජාත්‍යන්තර සංවිධානයේ සහය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම ළමුන් සහ වැඩිහිටියන් ජලභීතිකා රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බව පෙන්වා දෙන ඒ මහතා, රෝගය වැළැක්වීම සඳහා මහජනතාව දැනුවත් කිරීම සහ සතුන්ට එන්නත් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ බව සඳහන් කළේය.
1970 දශකයේදී මෙරට වසරකට ජලභීතිකා මරණ 350කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ නමුත්, එන්නත්කරණ වැඩසටහන් සහ නවීන සෞඛ්‍ය පහසුකම් හේතුවෙන් පසුගිය වසරේ එම මරණ සංඛ්‍යාව 10කට වඩා අඩු මට්ටමකට පහත හෙළීමට හැකිවූ බව වෛද්‍ය කුමාරවඩු මහතා පෙන්වා දුන්නේය. ‘One Health’ සංකල්පය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය, පළාත් සභා, පොලිසිය සහ ස්වේච්ඡා සංවිධාන ඒකාබද්ධව කටයුතු කිරීමෙන් ජලභීතිකා මරණ සංඛ්‍යාව බින්දුව දක්වා ගෙන ඒමට රජය අපේක්ෂා කරයි. සතුන් ආරක්ෂිතව අල්ලා ගැනීම, එන්නත් ලබාදීම සහ නිදැල්ලේ සැරිසරන සතුන් කළමනාකරණය පිළිබඳව සත්ව සෞඛ්‍ය නිලධාරීන්ට මෙහිදී විශේෂ පුහුණුවක් ද ලබා දෙනු ඇත.














