මහනුවර නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියම් යෙදීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති දෙකක වැඩ කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (06) පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතය. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීම සඳහා ජනාධිපතිවරයා හෙට සිදු කරන මහනුවර සංචාරයට සමගාමීව මෙම සංවර්ධන ව්‍යාපෘති දියත් කෙරේ. ඒ අනුව මහනුවර – යාපනය මාර්ගයේ (A-009) පිහිටි මහයියාව උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හෙට ආරම්භ වන අතර, මීට පෙර අතරමග නතර කර තිබූ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් ද හෙට සිට යළි ක්‍රියාත්මක වනු ඇත.
මෙම ව්‍යාපෘති දෙකම මහනුවර නගරයට පිවිසෙන සහ පිටවන ප්‍රධාන මාර්ගයන්හි පවතින අවහිරතා මඟහරවා ගැනීමටත්, ප්‍රවාහන සබඳතා වඩාත් කාර්යක්ෂම කිරීමටත් මහඟු දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජනාධිපති මාධ්‍ය අංශය පවසන පරිදි, නගරයේ දියුණුව සඳහා වූ නව සංවර්ධන සැලැස්මේ වැදගත් පියවරක් ලෙස මෙම වැඩසටහන් හඳුන්වා දී තිබේ.













