කළුතර බන්ධනාගාරය තුළදී පහරකෑමට ලක්ව නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ‘කුඩු සළිඳු’ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයෙකු බැලීමට පැමිණි පුද්ගලයෙකු, රෝහල් ආරක්ෂක නිලධාරියෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කර ඇති බවට වාර්තා වේ. ඊයේ (04) අලුයම 2.30ට පමණ විදුලි යතුරුපැදියකින් පැමිණි අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන ඥාතියෙකු බැලීමට අවශ්‍ය බව පවසා වාට්ටුවට ඇතුළු වීමට උත්සාහ කර ඇති අතර, ආරක්ෂක නිලධාරියා ඊට ඉඩ ලබා නොදීම හේතුවෙන් මෙම තර්ජනය සිදු කර ඇත.
කෙසේ වෙතත්, අදාළ ආරක්ෂක නිලධාරියා මෙම සිදුවීම පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත්තේ සිද්ධිය වී පැය 12කට පමණ පසුව එනම් ඊයේ සවස 3.00ට පමණය. ඔහුගේ ඉහළ නිලධාරීන් ද මේ පිළිබඳව දැනුවත් වී නොතිබීම හේතුවෙන් පැමිණිල්ලේ සත්‍යතාව පිළිබඳව පොලිසිය සැක පළ කරයි. කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිනී වීරසූරිය මහත්මියගේ උපදෙස් මත කළුතර දකුණ පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර රෝහලේ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමට ද නියමිතය.














